
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ විදේශ ණය ගෙවීම සඳහා 2042 වන තෙක් කාලය ලබා ගැනීමට සාකච්ඡා ඇරැඹූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය.
ණය ගෙවන ප්‍රමාණයෙන් කොටසක් ඉවත් කර ගැනීමට ද අපේක්ෂා කරන බව කී ජනාධිපතිවරයා ඒ සමඟ අපනයන ආර්ථිකයක් සමඟ ඉදිරියට ගියහොත් තරුණ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන බවද සඳහන් කළේය.
නවීන කෘෂිකර්මාන්තය සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සමඟ 2048 වන විට සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් ගොඩනැගීමේ ගමනට රජය මේ වන විට අවතීරණ වී තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.
එම ගමන සමඟ ඉදිරියට ගොස් රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පැවරෙන බව කී ජනාධිපතිවරයා සටන් පාඨ හා තර්කවලට යටවී රටේ අනාගතය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “මගෙන් පටන් ගමු" අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වෙමිනි.
කූඹිච්චංකුලම වැව් ඉස්මත්තේදී පැවති මෙම සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් ගැටලු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේය.
බොහෝ ගැටලුවලට ජනාධිපතිවරයා එම අවස්ථවේදීම විසදුම් දුන් අතර අනෙකුත් ගැටලු විසඳිමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

