විද්‍යුත් දුම්වැටි ගුවන් තොටේ හිරවෙයි


( ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , එක් පුද්ගලයෙකු ද සමඟ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .

 මොහු මීගමුව , කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි .

ඔහුගේ ගමන් මලු කීපයක් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

එම ගමන් මලු " මග හැරුණු ගුවන් ගමන් මලු '' ගබඩාවේ තැන්පත් කර තිබූ අතර , ගුවන් තොටුපොළෙන් සිදු කළ දැනුම් දීම මත ,  ඔහු  එම ගමන් මලු රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණ තිබේ .

මෙම ගමන් මලු ගුවන් තොටුපොළෙන් නිදහස් කර ගත් මෙම පුද්ගලයා ඒවා රැගෙන ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ඇති වූ සැකය මත මෙම ගමන් මලු පරීක්ෂා කිරීමේදී , ඒවා තුළ සගවා ගෙන තිබූ විද්‍යුත් දුම්වැටි 245 ක් සොයා ගෙන , අත් අඩංගුවට ගෙන තිබේ.