විද්‍යුත් කාඩ් ගෙවීම් ක්‍රමය දිනෙන් දින දියුණු කරනවා


(අංජුල මහික වීරරත්න)

විද්‍යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ වැඩපිළිවෙළ ඉදිරි දින කිහිපයේදී සමීපව නිරීක්ෂණය කරන බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

එහිදී හඳුනා ගැනෙන ප්‍රබලතා සහ දුබලතා මත කාඩ්පත් ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා කීය.

ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, විනිවිදභාවය මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර තව දුරටත් තහවුරු කිරීමටත්, මගී පහසුව වෙනුවෙනුත් විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ වැඩසටහන මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24)ආරම්භ විය.

එහිදී අමාත්‍යවරයා කියාසිටියේ බස් ගාස්තු විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරෙන බවයි. බැංකු ගාස්තුව ගෙවීම බස් හිමියන් වෙත පැවරේ.

ඒ අනුව බස්ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමෙන් මගීන්ට වැඩි මුදලක් වැයකිරීමට සිදු නොවන බව අමාත්‍යවරයා කීය.

නව ක්‍රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාව ද ලැබේ.