විජිතපුර බළකොටුවට අයත් පුරාවිද්‍යා භූමියක අඹ - පොල් වගාකරලා


(කාංචන කුමාර ආරියදාස)
 
කලාවැව ඉස්මත්තේ ධීවර ගම්මානයට ආසන්නයේ ඓතිහාසික විජිතපුර  බළකොටුවට අයත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භූමියක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර  අඹ  හා පොල් වගා කර ඇතැයිද මේ බව තමන් කැකිරාව රණජයපුර පොලිසියට පැමිණිලි කර ඇතැයිද පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
 
මෙම භූමියේ ඉපැරණි ගල්කණුවලට දැඩි හානි සිදුවී ඉපැරණි ගොඩනැගිල්ලක ගඩොල් සහ පැති  උළු විශාල වශයෙන් කැඩී බිඳී තිබිණි. 
 
අක්කරයක පමණ භූමියක මහා ඝන කැලෑව පැවති බවත් එම ප්‍රදේශයේ පදිංචි අයෙකුගෙන් කුලීකරුවා ලෙස තමාට ලැබුණු උපදෙස් පරිදි කැලෑව ඉවත්කර ඉඩම එළිපෙහෙළි කරමින්  වෙනත් ප්‍රදේශයකින් මෙම ඉඩමට පස් ගෙනැවිත් දමා අඹ හා පොල්  වගා කළ බව කලාවැව ධීවර ගම්මානයේ පිහිටි මෙම  පුරාවිද්‍යා භූමිය පවිත්‍ර කරමින් වගාව ආරම්භ කළ කුලී කම්කරුවා ලංකාදීපයට පැවසීය.
 
කැකිරාව ප්‍රදේශයේ පුරාවිද්‍යාව පිළිබඳව සහ රජරට ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳව මනා දැනුමක් ඇති සුදත් ඒකනායක මහතා එළාර දුටුගැමුණු යුගයට ද ඉහත සිටම මෙම විජිතපුර නගරය පැවැති බව ඉතිහාසයේ සඳහන් වන බවද සඳහන් කළේය.  මෙම ස්ථානයේ සංඝාවාස රජ මාළිගාවක් පවතින්නට ඇති බවත් විනාශ කර ඇති නටබුන් පරීක්ෂාකිරීමේදී දැක බලාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
 
මෙම ස්ථානයේ සිට මීටර් සීයක් පමණ දුරින් විහාර ආරාම සංකීර්ණයක් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. විශාල ගල් මත මාළිගාවල නටබුන්, ගල් කටාරම් කෙටූ විහාර ආරාම සංකීර්ණයක් මෙම ස්ථානයේ පවතින බව සුදත් ඒකනායක මහතා පෙන්වීය. ඉතිහාසයක් සහිත බවට පිළිගත හැකි නටඹුන් සියල්ල විනාශ කර ඉඩම් අත්පත් කරගැනීමේ මුවාවෙන් ජාවාරම්කරුවන් ක්‍රියාකරමින් සිටින බවද ඔහු පැවසීය.
තමන්  ගමේ අයකුගෙන් රුපියල් ලක්ෂ දහය හමාරක මුදලකට ගිවිසුමකින් මිලදී ඉඩම  ගත් බවත් පසුව සව්න්දරාජ් නමැති අයකුට වගා කරගැනීම සදහා ලබා දුන් බවත් මේ ඉඩම ලබාගෙන වගාකර ඇති, කලාවැව නෙල්ලියාගම පාසලක ගුරුවරයකු වූ කලාවැව පදිංචි  පිච්චෙ නුර්දීන් මහතා කීවේය.
 
තමන් රජයේ සේවකයකු නිසා රජයේ ඉඩම් ලබාගැනීමට නොහැකි බවද,තමන් මේ ඉඩම ලබාගත්තේ දුප්පත් කාට හෝ ලබාදී දේශීය ආයුර්වේද පැළෑටි වැවීමට බවද ඉඩම සංවර්ධනයේදී පුරාවිද්‍යා නටබුන් තමන් නොදුටු බවද වසමේ ග්‍රාම නිලධාරිවරයා මේ ඉඩමේ අයිතිය ලබාදීමට තමන්ට පොරමයක්ද ලබාදී තිබෙන බවද මේ දිනවල ග්‍රාම නිලධාරියාගේ උපදෙස් පරිදි එම ඉඩමට නොයන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මීට පෙර විජිතපුර  බලකොටුවට අයත් බැලුම්ගල  නැමති පුරාවිද්‍යා ස්ථානය ද යන්ත්‍රසූත්‍ර දමා ගම්මානය ඉදි කිරීම සඳහා විනාශ කර තිබිණි.