විකිරණ සහිත වැලි නිකුත් කිරීම අත්හිටුවයි


(විනීතා එම් ගමගේ)
 

පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ යන්ත්‍රාගාරයේ සිට දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට ඉල්මනයිට් ලබාගැනීමෙන් පසුවැලි නිකුත් කිරීම වහා අත්හිටුවන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ  මහතා එම අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
 
දඹුල්ල ප්‍රදේශයේ ඇති පෞද්ගලික සමාගමකට එවන ලද පිරිපහදු කළ වැලිවල විකිරණ අඩංගු වීම හා පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ මෙහෙයුම් පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමට ද අමාත්‍යවරයා තීරණය කොට ඇතැයි කර්මාන්ත අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.  
 
පුල්මුඩේ සිට ගෙන එන වැලිවල විකිරණශීලී ස්වභාවයක් ඇති බවට පේරාදේණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අනාවරණය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා මෙම තීරණය ගෙන තිබේ. 
 
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ පුල්මුඩේ යන්ත්‍රාගාරයේ සිට එකී දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය වෙත ඛනිජ වැලි නිකුක් කිරීම වහා අත්හිටුවීමට අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ ඒ අනුවය.
 
මේ අනුව ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය ඉල්මනයිට් සහිත ඛනිජවැලි පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉතිරි වන අපද්‍රව්‍ය පෞද්ගලික ආයතන වෙත ලබා දීමේ දී අනුගමනය කරන ලද ක්‍රියාවලිය පිළිබඳව වහාම සොයා බලන ලෙස ද උපදෙස් ලබා ඇති අමාත්‍යවරයා දඹුල්ලේ ඇති වූ විකිරණශීලී වැලි ප්‍රශ්නය සහ ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිතය.