(දයාරත්න ඇඹෝගම)
මේ දිනවල උතුරුමැද පළාතට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පදවිය ප්‍රදේශයේ ගම්මාන ගණනාවක් ( 11 ) දහවල් වනවිට ජලයෙන් යටවී ඇති බවත් එම ප්‍රදේශවල ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත් වාරිමාර්ග ඉංජිනේරුවෝ පවසති.
පසුගිය දින කීපය තිස්සේ සිට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව නිසා වසර හතකට පමණ පසුව පදවිය වැව වාන් දැමීම ආරම්භ වී ඇතැයි ගම්වාසීහු පවසති.
එසේම ශ්‍රීපුර , කැබිතිගොල්ලෑව මාර්ගය කම්බිලිවැව ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාල භූමිය හා අවට ගම්මානවල අඩි 6 ක පමණ ජල මට්ටමක් පවතින අතර එය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. මේ හේතුව නිසා බෝගස්වැව , නාමල්වැව , වෙහෙරගොල්ල හා කම්බිලිවැව ආදී ප්‍රදේශවල සිට පදවිය , පරාක්‍රමපුර හා ශ්‍රීපුර අතර ගමනාගමනයද මුළුමනින්ම ඇනහිට තිබේ.
මීට අමතරව පදවිය - වව්නියාව මාර්ගය ජලයෙන් යටවීම නිසා පදවි පරාක්‍රමපුර සිට වව්නියාව දක්වා සියළු ගමනාගමන කටයුතු ඇනහිට තිබේ.
ගම්වාසීන්ගේ දෛනික කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආපදා සහන සේවයක් ආරම්භ කර ඇත.
අප මේ පිළිබඳව පදවිය ප්‍රාදේශීය ලේකම් රලියුඩීන් මහතාගෙන් විමසීමක් කළෙමු. ඔහු සඳහන් කළේ බුද්ධංගල මධ්‍ය මහ විද්‍යාලය හා වෙහෙරතැන්න ප්‍රදේශයේ නිවාස කීපයක් හා මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.
එසේම පරාක්‍රමපුර - වව්නියාව මාර්ගයේ ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇණහිට ඇති බවත් නාවික හමුදාව බෝට්ටු සේවයක් යොදවා ඇතත් සැඩ පහර වේගවත් නිසා බෝට්ටු යොදා ගැනීම අපහසු වී ඇති බවයි. කෙසේ වෙතත් මේ වනවිට වර්ෂාව මඳක් අඩුවී ඇති නිසා බරපතල ආපදා තත්වයක් ඉදිරියේදී ඇති නොවනු ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.