(සිරංගිකා ලොකුකරවිට)
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ එක් කාන්තාවක මියගොස් 7 දෙනකු තුවාල ලබා පුද්ගලයන් 21,698ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මේජර් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 18ක ග්‍රාම නිලධාරී කොට්ඨාස 373ක පවුල් 5600ක් පීඩාවට පත්ව සිටින බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
දැනට ලැබී ඇති තොරතුරු අනුව නිවාස 31ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 383කි. ව්‍යාපාරික ස්ථාන 30කට ද හානි සිදුව ඇත.
ඉරිදා (22) සිට අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමට ළඟා වී ඇති අතර ඉදිරි පැය දෙකක කාලයේ ද වැසි ඇතිවුවහොත් මහ ගංවතුරක් ඇතිවන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ හේතුවෙන් පහත්බිම්වල පදිංචි ජනතාව, ජලයෙන් යටවීමේ අවදානමක් සහිත එක් පිවිසුම් මාර්ගයක් පමණක් ඇති ස්ථානයන්හි පදිංචි ජනතාව සහ ගිං ගඟේ වේලී පහත් බිම්හි පදිංචි ජනතාව ද මේ වනවිට පදිංචි ස්ථානවලින් ඉවත්කරමින් සිටින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගාල්ල හා මාතර දිස්ත්‍රික් අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්.සූරියබණ්ඩාර මහතා පවසයි.
විපතට පත්වූවන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාවේ යාත්‍රා සහ භට පිරිස් යොදවා ඇති අතර අමතර කණ්ඩායම් ද සූදානම්ව සිටිති. එමෙන්ම ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා කිහිපයක් ද කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබේ.

