වැස්ස දිගටම


(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි දිනවලදීත් සවස් කාලයේ වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අන්තර් මෝසමේ බලපෑමෙන් මෙම වැසි ඇතිවන අතර ඒ අනුව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට සවස 2'00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.


 සබරගමුව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.


 වයඹ,  බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප‍්‍රදේශයන්හි තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව ද ඔහු කීවේය.


ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.


දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම අවස්ථාවල මුහුදු ප‍්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බැවින් ධීවර සහ නාවුක ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මේ අතර අද (22) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 114.3 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ වාගොල්ල ප‍්‍රදේශයෙනි.