වැඩබලන විදේශ ලේකම් විපක්ෂ මන්ත්‍රීන්ගේ දැඩි දෝෂදර්ශනයට


මෙරට අධිකරණයේ විභාගවන විශේෂ නඩු හතරක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයකුට කරුණු දක්වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා අගවිනිසුරුට සහ මහාධිකරණ විනිසුරුවරුන්ට කර ඇති දැනුම්දීම වහාම නතර කරන ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දුන් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර වහාම එය නතර කිරීමට පියවර ගන්නා බවය.

දිනේෂ් ගුණවර්ධන මහතා:-
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2සී වගන්තිය යටතේ අධිකරණයට මැදිහත්වීම වරදක්. කිසියම් පුද්ගලයකු විනිශ්චය කාරවරයකුට හෝ විනිශ්චයට භාජනය වන කරුණකට බාධා කිරීම වරදක්.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් අහමඞ් ජබාර් නමැත්තා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිවරියට ලිපියක් ලියා තිබෙනවා. එහි තුන්වන පිටුවේ ලියා ඇති දෙයින් අධිකරණයේ කටයුතුවලට බලපෑමක් කර තිබෙනවා.

අගවිනිසුරුත් ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියත් මහාධිකරණයේ විනිසුරුවරුනුත් මෙරටට පැමිණ සිටින විදේශීය නියෝජිතයකු හමුවිය යුතු යැයි එමගින් දන්වා තිබෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කළ යුතුයි. අමාත්‍යාංශ ලේකම්වරයකු හෝ වැඩ බලන ලේකම්වරයකු මෙවැනි ලිපියක් යවනවා නම් එය වැරදියි.

කතානායක කරු ජයසූරිය මහතා:-
මා ඒ ගැන වහාම දැනුවත් කරන්නම්.

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා:-
මෙතැනදී විශේෂ නඩු කීපයක් නම් කර තිබෙනවා. රොෂාන් චානකගේ මරණය, වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ විරෝධතාව රතු පස්වල සිද්ධිය සහ අධිකරණ අමාත්‍යාංශය යටතේ සිදුවූ වෙනත් සිද්ධි ඊට ඇතුළත් වෙනවා.

මේවා ගැන ප්‍රශ්න කිරීමට ඉඩදීම අධිකරණයේ ස්වාධීනත්වයට විශාල බාධාවක්. කතානායකතුමා වශයෙන් ඔබ තුමා අදම මෙය නතර කිරීමට කටයුතු කරන්න.

චන්දිම වීරක්කොඩි මහතා:- මේ ලේකම්වරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ටත් මේ ගැන පිටපතක් යවනවා මෙය සාධාරණ වැඩක්ද?

ආචාර්ය විජයදාස රාජපක්‍ස මහතා:-
අධිකරණයේ තිබෙන නඩු තුනක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිත කැඳවා මුණ ගැස්වීමට සැලැස්වීමට ඇමතිවරුන් සම්බන්ධද? එසේ නම් අධිකරණයට අපහාස කිරීමේ වරද ඔවුන් කර තිබෙනවා. ඒ නිසා මීට පහසුකම් සැපයූ ඇමැතිවරු ලේකම්වරු අධිකරණයට අපහාස කිරීමේ වරදට ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාමට අපට සිදු වෙනවා.

විමල් වීරවංශ මහතා:- විදේශ අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්වරයා මේ පාවිච්චි කරන්නේ ඔහුට නැති බලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුද්දාට කරුණු කියන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයාටයි මහාධිකරණයේ විනිසුරුන්ටයි කියන්න මොහුට තිබෙන බලය කුමක්ද? මේ නිලධාරියා හෙට පාර්ලිමේන්තුව හමුවට කැඳවන්න. මහජන නියෝජිතයෝ  හැටියට අපට මේ ගැන ප්‍රශ්න කරන්න ඕනෑ.

කතානායක කරු ජයසූරිය මහතා:- මෙය නතර කරන ලෙස මා දැනටමත් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නා.