වැටලීම් අඩුවී සුරාවේ ’’පොකට්ටුව’’ හිඳෙයි


 

(සුජිත් හේවාජුලිගේ )

සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ  නිලධාරි තනතුර තිස්හතරක් ඇතුළු තනතුරු පුරප්පාඩු 340 ක් නොපිරවීමෙන්   බොහෝ වැටලීම් අඩාලවීම නිසා එහි ආදායම් උත්පාදනයට දැඩි බලපෑමක් සිදුවී ඇතැයි  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා )පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව 2017 වර්ෂයේ දී වැටලීම් පනස් තුන් දහස්  අටසිය හතළිස් අටක් සිදුකර ඇති අතර පසුගිය 2020 වර්ෂයේදී සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව  නිලධාරීන්ගේ හිඟය  නිසා 39623ක් දක්වා ක්‍රමානුකූලව අඩුවී  ඇතැයි එම කාරක සභාව පවසයි .

මේ අනුව  සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගැනීමට අදාළ නීති සංශෝධනය කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව  කෝපා කමිටුව එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට   පෙන්වාදී ඇත.

මේ අතර සැර මත්පැන් නිෂ්පාදනයද අඩුවී ඉන් ලැබුණු  ආදායම( 2020 වර්ෂය වනවිට) රුපියල් කෝටි 9310සිට කෝටි  8476ක් දක්වා  පහත බැස ඇතැයි  එම වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කමිටුව කළ විමසුමකදී සුරාබදු නිලධාරීන් පවසා ඇත්තේ කොවිඩ් තත්වය නිසා මේ පසුබෑම ඇතිවූ  බවයි.