වාහන ගේන්න ඩොලර් කෝටි 45ක ණයවර විවාත්තයි


(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක වාහන මෙරටට ආනයනය කර තිබෙන බවත් මෙරටට වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක ණයවර ලිපි විවෘත කර තිබෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

ණයවර ලිපියක් විවෘත කර පසු මෙරටට වාහනයක් ආනයනය කිරීමට කාලයක් ගතවන බවත් ඉදිරියේදී එම වාහන ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමෙන් පසුව මෙරට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.9ක ජංගම ගිණුම් අතිරික්තයක් මෙම වසරේදී ශ‍්‍රී ලංකාව වාර්තා කරනු ඇතැයි මහ බැංකුව පුරෝකතනය කර ඇති බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වසර තුනක් පිටපිට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ ප‍්‍රථම අවස්ථාව මෙය වනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේදී එක්දින ප‍්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා  පැවැති මාධ්‍ය හමුවකදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

රුපියල සම්බන්ධයෙන් එහිදී මහ බැංකු අධිපතිවරයා අදහස් ප‍්‍රකාශ කළ අතර පිටපිට වසර දෙකක් ශ‍්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වීමෙන් පසුව මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ඊයේ  දක්වා කාලයේදී රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 2.4 කින් අවප‍්‍රමාණය වී තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

එසේම ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙම වසර ආරම්භයේ සිට ඊයේ දක්වා කාලෙය්දී ශුද්ධ පදනම මත මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක් මිලදීගෙන තිබෙන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.