වාස්ට බන්ධනාගාර නිලධාරින් පහර දුන්නැයි පැමිණිල්ලක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විදින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට බන්ධනාගාර නිලධාරීන් පහරදුන් බව ලිඛිත පැමිණිල්ලක් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට කළ ලිපිය හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය විසින් විවිධ පැමිණිලි අංශය වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිස් නිලධාරියකු පැවසීය.

බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු විසින් එම පහරදීම සිදුකළ බවත් ඒ හේතුවෙන් දින තුනක කාලයක් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ බව එම ලිපියේ සඳහන් වේ.

එම ලිඛිත පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන ආරම්භ කළ බවත් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ජිවිතාන්තය  දක්වා සිරදඬුවම් විදින රැඳවියන් කිහිප දෙනෙකුගෙන් මෙන්ම ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විදින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුතාගෙන් ද ප්‍රකාශ ලබාගත් බව පොලිස් නිලධාරීයකු පැවසීය.