වාලම්පුරියක් විකුණන්න හැදූ කපුවෙක්- සගයෝ දෙදෙනෙක් මාට්ටු


(ටෝනි කරුණානායක) 

වාලම්පුරියක් බවට සැකකරන බෙල්ලෙකු සන්තකයේ තබාගෙන විකිණීමට තැත් කළ දේවාලයක කපුවෙකු සහ තැරැව්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.

දිවුලපිටිය , කාසල් වත්ත ප්‍රදේශයේ දේවාලයක්  පවත්වාගෙන සැකකාර කපු මහතා සන්තකයේ ඇති වාලම්පුරියක් රුපියල් ලක්ෂ පහකට විකුණන බව කපු මහතා විසින් තැරැව්කරුවන් දෙදෙනාට පවසා තිබේ. තැරැව්කරුවන් දෙදෙනා එම වාලම්පුරිය රුපියල් ලක්ෂ  13 කට විකිණීමට විකිණීමට ගැනුම්කරුවන් සොයන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇති බව පොලීසිය කියයි.

වාලම්පුරිය මිලට ගැනීම සඳහා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් සමඟ සිවිල් ඇඳුමෙන්  සැරසුණු පොලිස් නිලධාරියකු ද  එක් කළ බව දිවුලපිටිය පොලීසිය පවසයි. 

තැරව්කරුවන් දෙදෙනා සමඟ  නිලධාරීන් දේවාලයට ගොස් වාලම්පුරි මිලට ගැනීමට සූදානම් වන අවස්ථාවේ සැඟව සිටි පොලිස් නිලධාරීන් විසින් තැරැව්කරුවන් දෙදෙනා සහ කපු මහතා ඇතුළු වාලම්පුරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

සත්‍ය වාලම්පුරියක්ද  යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග ලබාගෙන වාලම්පුරිය නාරා ආයතනය වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. සැකකරුවන් තිදෙනාව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (23) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .