වාරියපොළ රජයේ ගොවිපොළ ඉදිරිපිට විරෝධතාවක්


(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )

වයඹ පළාත් සභාවට අයත් වාරියපොල සහ ගල්ගමුව ගොවිපොළ වල අනියම් පදනම මත සේවය කරන කම්කරුවන් 51 දෙනෙකු අද (20) දහවල් වාරියපොල  රජයේ ගොවිපොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූහ.

මෙම සේවකයින් වසර 15 සිට 25 දක්වා දීර්ඝ කාලයක සිට සේවයේ නිරතව සිටියත් තම සේවය ස්ථිර නොකිරීම සහ වැටුප් වැඩිනොකිරීම හේතුවෙන් මෙම විරෝධතාවයට එක්වූ බව සේවකයෝ කියති. 
වසර 25 ක සේවය කළත් තවමත් ඔවුන්ට ලැබෙන්නේ රුපියල් 11,000 ක පමණ වැටුපක් බව ඔවුන් පවසති.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරයා සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවස්ථා ගණනකදී දැනුවත් කලත් මේ වනතුරු තමන්ට සහනයක් නොලැබුණු බව විරෝධතාකරුවෝ කියති.

.මෙම සේවකයින් 29/2019 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව සුදුසුකම් සපුරා ඇති බවට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා විසින් භාණ්ඩාගාර ලේකම් වෙත දන්වා යවා ඇතත් මේ වන තෙක් මෙම පිරිසට ස්ථිර පත්වීම් ලබාදීමට පියවර ගෙන නොමැත.