වායු පිස්තෝලයකින් වෙඩි තියන්න ගිය අයෙක් අත්අඩංගුවට


(ෂේන් සෙනෙවිරත්න)

අකුරණ කුරුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට වායු පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මිලිමීටර් නවය  පිස්තෝලයකින් වෙඩිතැබීමට උත්සාහ කරන බවට අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද දුරකථන  ඇමතුමකට අනුව පොලිසිය වහාම එහි ගොස් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම පිස්තෝලය මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකට සමාන ජපානයේ නිෂ්පාදිත වායු පිස්තෝලයක් බවයි.

ඒ අනුව එම පිස්තෝලය සහ වෙඩිතැබීමට උත්සාහ කළ පුද්ගලයාද ඔහු   පදවාගෙන   ගිය ලියාපදිංචි නොකරන ලද ටොයොටා හයිලැක්ස් වර්ගයේ නවීන පන්නයේ කැබ්රියක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අකුරුණ කුරුගොඩ පටු මාර්ගයක ගමන් කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයකට පසුපසට ගන්නා ලෙස සැකකරු විසින් දන්වා ඇති අතර එය පිටුපසට නොගැනීම හේතුවෙන් කුපිත වූ සැකකරු එක්වරම පිස්තෝලයක් එළියට ගෙන ඔහුට වෙඩි තැබීමට උත්සාහ කරන අවස්ථාවේදී ඔහු වහාම අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කොට එම ස්ථානයට පොලිස්‌ කණ්ඩායමක් කැඳවා තිබේ.