ව්‍යාපාරිකයාගේ ලක්ෂ 13ක බෑගය සොරාගත් ගෘහ සේවිකාව මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

මැණික් ව්‍යාපාරිකයෙකු සතු රුපියල් ලක්ෂ 13 ක් වටිනා ගමන් මල්ලක් ,කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගත් ගෘහ සේවිකාවක අද(03) කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඔහු දෙහිවල , කලුබෝවිල ප්‍රදේශයේ පදිංචි , මොහොමඩ් ජාසින් නවාෂ් නැමැති 34 හැවිරිදි මැණික්  ව්‍යාපාරිකයෙකි . ඔහු නිතර ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය සදහා සහභාගී වන පුද්ගලයෙකි .

"  Brand Tumi " වර්ගයට අයත් මෙම ගමන් මල්ල පමණක් රුපියල් ලක්ෂ 06 ක් පමණ වටිනා එකක් වන අතර , එහි මෙම ව්‍යාපාරිකයාට අයත් මැණික් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ලේඛන , හිස් මැණික් ඇසුරුම් පෙට්ටි , ව්‍යාපාරිකයාගේ ඇදුම් පැළදුම් , සුවදවිළවුන් ඇතුළු තවත් වටිනා භාණ්ඩ රාශියක් තිබී ඇත .

ඔහු ඉකුත් 28 දින අලුයම 03.00 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 632 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය හෙම්මාතගම , පෙතිගම්මන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ගෘහ සේවිකාවක වන අතර , ඇය ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය සොයා ගිය ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් , ඇයගේ නිවසෙහි තිබී රුපියල් එක් ලක්ෂ විසි පන් දහසක් වටිනා භාණ්ඩ තොගයක් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .