ව්‍යාජ බලපත් - මත්ද්‍රව්‍ය සමඟ අයෙක් ගල්කිස්සෙන් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


ගල්කිස්සේ නිවසක සඟවා තිබූ මත්ද්‍රව්‍ය, ව්‍යාජ වාහන අංක තහඩු, රියදුරු බලපත්‍ර, ආදායම් බලපත්‍ර, කොටස් එකලස් කරන ලද මෝටර් රථයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.


සැකකරු සමඟ හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19ක් සහ මිලිග්‍රෑම් පහක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු හතරක්, ව්‍යාජ රියැදුරු බලපත්‍ර හතරක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක්, ආදායම් බලපත්‍ර පහක් සහ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නිල මුද්‍රාව තබන ලද අධිකරණ වරෙන්තු පත්‍ර කිහිපයක් පොලිසිය භාරයට ගෙන ඇත.


මෙම ව්‍යාජ හැඳුනුම්පත් අතර සැකකරුගේ ඡායාරූපය සහිතව සිංහල හා මුස්ලිම් නාම යොදා සැකසූ ජාතික හැඳුනුම්පත් දෙකක් ද තිබූ බව පොලිසිය කියයි.