වළගම්බා රජ දවසේ පුරාවස්තු සොයා කැණිම් කළ 05 ක් අත්අඩංගුවට


(කාංචන කුමාර ආරියදාස) 

ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය ඉදිරිපිට මීටර් 800ක් පමණ දුරින් දඹුලු රජමහා විහාරස්ථානයට අයත් ඉඩමක වළගම්බා රජුගේ වස්තුව තැන්පත් කර ඇතැයි පවසා කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකු බැකෝ යන්ත්‍රයක් ද සමඟ අද (21 ) සැකපිට දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම්  අංශයට   ලැබුණු තොරතුරක් මත දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති  උප පොලිස් පරීක්ෂක ඒ .ටි . බණ්ඩාර  මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ.

දඹුලු රජමහ විහාරය පෙනෙන මානයේ ස්ථානයක වගා ළිදක් කපන මුවාවෙන් විශාල ගල් වළක් හාරමින් මෙම පිරිස නිධන් සෙවීමේ කටයුත්තක නිරතව සිටි බව පොලිසිය කියයි.

ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය කරවූ වළගම්බා රජුගේ වස්තුව මෙම ස්ථානයේ තැන්පත් කොට ඇතැයි පවසමින් එම වස්තුව සොයා මෙම කැණීම් සිදුකර තිබෙන බව පොලිසිය කියයි.

මෙසේ කැණීම් සිදුකරමින් සිට  අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ සහ දඹුල්ල අවට පදිංචි තරුණයන් පස් දෙනෙකු බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ බැකෝ යන්ත්‍රය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය ශ්‍රී  විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ  මාතලේ දිසාවේ උප  ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ ශ්‍රී  රාහුල නාහිමියන්,  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නියමිත බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.