(ඩයනා උදයංගනී)
ගතවූ වසරක කාලයේදී රජය මගින් විදුලිබිල සියයට 300කින් එනම් තුන් ගුණයකින් ඉහළ නංවා ඇතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සියයට 75 කින් වැඩි කළ විදුලි බිල, පසුගිය දා නැවත සියයට 66 කින් වැඩි කර ඇතැයි කී මන්ත්‍රීවරයා ඒ අනුව පසුගිය වසරේ පෙබරවාරි මස පැවති විදුලි බිල මෙම වසරේ පෙබරවාරි වන විට තුන් ගුණයකින් වැඩිකර ඇතැයි සඳහන් කළේය.
මේ වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 765 ක් වනු ඇතැයි කී පාඨලී චම්පික මහතා පසුගිය වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ අයවැය අනුව එහි සමස්ත වියදම වී ඇත්තේ රුපියල් බිලියන 471 ක් බවත්, මෙම වසරේ එය රුපියල් බිලියන 765 වන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත් කීවේය.
මෙම විදුලි බිල වැඩි කිරීම තෙල් මිල සූත්‍රය මෙන්ම පුම්බන ලද වියදම් මත පදනම්ව ඇති බවත්, භාණ්ඩාගාරයේ හා රාජ්‍ය බැංකුවල වැරදි මූල්‍ය කළමනාකරණයට විදුලි හා තෙල් පාරිභෝගිකයා වගකිව යුතු නැති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ගාස්තු සංශෝධනයේදී වැඩි බර දමා ඇත්තේ ඒකක 90 ට අඩුවෙන් පරිහරණය කරන පිරිමැසුම් පාරිභෝගිකයන්ටවීම අතිශයින් අයුක්ති සහගත බවත්, සමෘද්ධි සහනාධාරය ලෙස රුපියල් බිලියන 66 දී විදුලි බිල්පතෙන් රුපියල් බිලියන 106 ක් වැඩියෙන් ගැනීම දුගියා කබලෙන් ලිපට දැමීමක් බවත් හෙතෙම පැවසීය.
ලංවිම ගාස්තු වැඩ කිරීමේ ක්‍රමවේදයක් තිබියදී මහජන උපයෝගීතා කොමිසම සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය පිළිකුල් සහගත මැර ක්‍රියා කලාපයක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

