වසර අටේ පොලිස් නීතිය හමස් පෙට්ටියේ


(මුදිතා දයානන්ද)

උප පොලිස් පරීක්ෂක තනතුරට 2013දී බඳවා ගත් පොලිස් නිලධාරීන්ට වසර දහයකට අධික කාලයක් තිස්සේ තවමත් එම තනතුරේම රාජකාරී කිරීමට සිදුව ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැන ගන්නට තිබේ.

උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා බඳවා ගන්නා නිලධාරීන්ට වසර අටක් ඇතුළත පොලිස් පරීක්ෂක තනතුරට උසස් වීම් ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදය බවද එහෙත් මෙම කණ්ඩායමට මෙතෙක් උසස් වීම් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් සිදුකර නැති බව ද වාර්තා වේ.

මෙලෙස මෙම කණ්ඩායමට උසස්වීම් ලබා නොදෙන්නේ පොලිස් පරීක්ෂක තනතුරේ පුරප්පාඩු රැසක් තිබිය දී බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එවැනි උසස් වීම් පිළිබඳ ලිපිගොනුවක් තමන් වෙත ලැබී ඇත්දැයි කිව නොහැකි බවය.

අපට පැමිණිලි හා උසස්වීම් පිළිබඳ ලිපිගොනු ඉතා විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මේ සේරම අපි දැන් පරීක්ෂා කරගෙන යනවා. මෙවැනි අසාධාරණයකට ලක්වුණු කෙනෙක් ඉන්නවා නම් ඇවිත් ඒ ලිපිගොනු පරීක්ෂා කර බලා අපට යොමු කළොත් ඒ ගැන සළකා බලන්න පුළුවන්. ඇත්තටම එහෙම ලිපිගොනුවක් තිබෙනවාද කියලාවත් මට දැන් මේ ලිපිගොනු ගොඩ දිහා බලලා කියන්න අමාරු යැයි ද ඔහු සඳහන් කළේය.