වසන්ත ප්‍රිය රාමනායක දිවි ගමනෙන් බැසයයි


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හිටපු අධ්‍යක්ෂකවරයෙක්, ජනප්‍රිය දේශපාලන විචාරකයෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත විය.

අසූව දශකයේ සිට වසර 40 කට ආසන්න කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට  67 වියේ පසු විය.

‘පෙරමඟ’ සඟරාවේ මාණ්ඩලික ලේඛකයෙකු ලෙස මාධ්‍ය ජීවිතය ඇරඹූ රාමනායක මහතා පසුව එම සඟරාවේ සහ ‘දෙසතිය’ සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද,  ඒ මහතා කටයුතු කළේය.

ලේක්හවුස් ආයතනයේ සභාපති ධූරය හෙබවූ රාමනායක මහතා දේශපාලන විචාරකයෙකු ලෙස ද ප්‍රකටය. ඒ මහතා ලංකාදීප පුවත්පතේ ‘කිවිදා විග්‍රහය’ දේශපාලන ලිපිය දීර්ඝ කාලයක් රචනා කළ අතර ජාතික රූපවාහිනියේ දේශපාලන සමාලෝචන වැඩසටහන් ද මෙහෙයවීය.

ආසියානු කලාපයේ මාධ්‍යවේදීන් හා සාහිත්‍යධරයන් අතර පුළුල් සම්බන්ධතාවයක් ඇති කිරීම අරමුණෙන් 2015 දී ඇරඹූ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ පුරෝගාමියා ලෙස ද  වසන්ත රාමනායක මහතා හැදින්විය හැකිය.

දෙදරු පියෙක් වන වසන්ත ප්‍රිය රාමනායක මහතා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (15) පස්වරු 3.00 බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.

(භාසුර)