වවුනියාවේ බස් අනතුරකින් 10 ක් රෝහලේ


(සිතුම් චතුරංග)

මැදවච්චිය , මන්නාරම මාර්ගයේ වවුනියාව නේරියකුලම ප්‍රදේශයේදී පෞද්ගලික බස්රථයක් හා ලංගම බස්රථයක් එකිනෙක ගැටී පුද්ගලයින් දස දෙනකු තුවාල ලබා අද (12) රෝහල් ගත කළ බව සෙට්ටිකුලම පොලිසිය කියයි.

කොළඹ සිට මන්නාරම දක්වා ධාවනයවූ පෞද්ගලික බස්රථය සෙට්ටිකුලම සිට වවුනියාව දක්වා ගමන් ගත් ලංගම බස්රථයේ මුහුණට මුහුණ ගැටී ඇති අතර අනතුරින් ලංගම බස්රථය පෙරැළී ගොස් ඇතැයිද පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත සෙට්ටිකුලම රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් බරපතල තත්වයේ සිටි තිදෙනකු වවුනියාව මහරෝහල වෙත මාරුකර යැවූ බවද පොලිසිය පැවසීය.

තුවාල ලබා සෙට්ටිකුලම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ පිරිසගේ තත්වය බරපතල නොවන බවත් පැවසීය.

සෙට්ටිකුලම පොලිසිය පැවසූයේ බස්රථ දෙකෙහි අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පෞද්ගලික බස්රථ රියදුරු හා ලංගම බස්රථ රියදුරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවටගැනීමට නියමිතය.

සෙට්ටිකුලම රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.