වවුනියාවේ ඉඩමකින් මෝටාර් උණ්ඩ- අත්බෝම්බ සොයාගනී


(සිතුම් චතුරංග)
 
වවුනියාව කනගරායන්කුලම, මදුරංකුලම ප්‍රදේශයේ ඉඩමක තිබී මිලිමීටර 60 මෝටාර් උණ්ඩ 15ක් සහ අත්බෝම්බයක් අද(02) උදෑසන සොයාගත් බව කනගරායන්කුලම පොලිසිය කියයි.
 
ප්‍රදේශවාසියකු විසින් ඉඩමක් පවිත්‍ර කිරීම සඳහා පරීක්ෂා කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී ඇත.
 
සොයාගත් මෝටාර් උණ්ඩ හා අත්බෝම්බය යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතකරනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය බවත් යුද සමයේ එම ස්ථානයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ තාවකාලික කඳවුරක්ද පිහිටා තිබී ඇති බවත් පොලිසිය පවසයි.
 
හමුවූ මෝටාර් උණ්ඩ සහ අත්බෝම්බය දීර්ඝ කාලයක් පොළව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් දැඩි ලෙස දිරාපත්ව ඇති බවද පොලිසිය කියයි.
 
වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීම හා වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට නියමිතය.