වල්ලපට්ට ජාවාරමක නිතර වූ තිදෙනකු අත්අඩංගුවට


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
රත්නපුර කලවානේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් අපරැක්කට පැමිණ දන්දෙනිය රක්ෂිත වනාන්තරය තුළ වු වල්ලපට්ටා කැපීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් තිදෙනෙකු අද  (27) උදෑසන සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මාතර අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.
 
ඔවුන් සන්තකයේ තිබී හිස් පොහොර බෑගයකට පුරවන  ලද කැපූ වල්ල පට්ටා තොගයක් ද වන සංරක්ෂණ  නිලධාරීන් සොයා ගෙන ඇත.
 
එම තොගයේ වටිනාකම කොපමණදැයි මෙතෙක් ගණනය කර නොමැත.
 
කලවානේ පදිංචි සංවිධානාත්මක සැකකරුවන් පිරිස කොළඹ දක්වා පැමිණ එතැන් සිට මාතර අපරැක්ක දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් පහසුව සලසා ගෙන ඒ ආසන්නයේ පිහිටි දන්දෙනිය රක්ෂිතය තුළට ඇතුළු වී තිබෙන බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
 
අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පැමිණී මෝටර් රථය,අත් කියත්,පිහි,පොරෝ ආදී උපකරණද ද වන සංරක්ෂණ නිලධාරීන් භාරයට ගෙන තිබේ.
 
මෙම වැටලීම සිදු කරන අතරතුරදී සැකකරුවන් දෙදෙනෙකු පැන යාමට සමත්ව තිබේ.ඔවුන් කවුරුන්ද යන්න දැනටමත් හදුනා ගෙන ඇත.
 
කලවානේ පදිංචි සැකකරුවන් තිදෙනා රක්ෂිත වනාන්තරයකට අනවසරයෙන් ඇතුළු වී වල්ලපට්ටා ගස් කැපීමේ චෝදනාව යටතේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.