(යොහාන් භාසුර)
දකුණු ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාලනය කරන කොළඹ වරාය කුස්සියේ අඹ මාළුවේ විශාල කැරපොත්තෙක් සිටි බව එම වරායේ සේවකයෝ චෝදනා කරති.
නැගෙනහිර බහලුම් පර්යන්තයේ සේවය කරන සේවකයකු පසුගිය 12 වැනිදා රාත්‍රී කුස්සියෙන් ලබාගත් ආහාර පාර්සලයේ මෙම මියගිය කැරපොත්තා සිටි බව ද සේවකයෝ කීහ.
කොළඹ වරාය කුස්සියේ කෑමවල සහ එහි පරිපාලනයේ වර්තමානය වන විට ප්‍රමිතිය පිළිබඳව දැඩි ගැටලුවක් පවතින බවත් කෑමවල තිබී පිහියකින් කැඩී ගිය කොටසක් ද මීට දින කීපයකට පෙර සේවකයෙක්ට හමුවී ඇති බවත් සේවකයෝ සඳහන් කරති.
වෛද්‍යවරු ද ඇතුළත්ව සිටි කමිටුවක් එම කුස්සියේ ආහාර පිසීම සුරක්‍ෂිත කිරීම සහ ආහාර වට්ටෝරු සැකසීම කළ ද මෑතක සිට ඇතැම් වෘත්තීය සමිතිවල බලපෑම හේතුවෙන් නිලධාරීන් සහ සේවකයන් පීඩාවට පත්ව ඇති බවත් බලපෑම් සමඟ සේවක අප්‍රසාදය මත ආහාර සුරක්‍ෂිතතාව පහළ වැටී ඇති බවත් සේවකයෝ පැවසූහ.
වරාය අධිකාරියට මෑතකදී පත්වීම් ලැබූ බොහෝ දෙනෙක්ට එහි පරිපාලනය පිළිබඳව නිසි අවබෝදයක් නොමැති බව කියන සේවකයෝ වර්තමාන පරිපාලනයේ උසස් නිලධාරීයෙක් වරාය කුස්සියෙන් අමතර කෑම ලබාගෙන එයට මුදල් ගෙවීමට ගොස් ඇති බව ද පැවසූහ.
‘වරායේ කෑම විකිණීම තහනම්’ යැයි එම අවස්ථාවේදී ප්‍රධාන නිලධාරියට කුස්සියේ සේවකයන් පවසා ඇතැයි ද වරාය සේවකයෝ වැඩි දුරටත් සඳහන් කරති.
මෙම සිද්ධිය පිළිබඳව වරාය මුළුතැන්ගෙයි අධ්‍යක්‍ෂ මොහොමඩ් රම්සීන් මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ තමන් නිවාඩු ලබා ගමට පැමිණ සිටින බැවින් ඒ පිළිබඳව නොදන්නා බවත් වරාය මුළුතැන්ගෙයි කළමනාකරුගෙන් විමසිය යුතු බවත්ය.
ඒ පිළිබඳව විමසීමට වරාය මුළුතැන්ගෙයි ප්‍රධාන කළමණාකරු ඇලපාත මහතාගේ දුරකථනයට ඇමතුව ද ඒ මහතා ප්‍රතිචාර නොදැවීය.
මෙම සිද්ධිය පිළිබඳව වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්. එස්. රණසිංහ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ කෑම තුළ කැරපොත්තෙක් සිටියේ යැයි පැමිණිල්ලක් මේ දක්වා ලැබී නොමැති බවත් වරාය කුස්සිය පෞද්ගලීකරණය කිරීම නවතා තමන් එය බේරාගත් බවත්ය.