වන්දනාවේ පැමිණි බසයක් ගිනි ගනී


 

(බී .ජී චතුරංග සහ කුෂාන් ජයවර්ධන) 

ගම්පොළ ප්‍රදේශයේ සිට අනුරාධපුරයට වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (16) උදෑසන ගල්කුලම නගරයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් එම බස් රථය ගිනිගෙන විනාශයට පත් වූ බව කවරක්කුලම පොලිසිය පවසයි.

මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ පිහිටි  ගල්කුලම ඉදිකිරිම් යන්ත්‍ර මෙහෙයුම් ශිල්පි විදුහල ඉදිරිපිටදි මෙම බස් රථය හදිසියේ  ගිනි ගැනිමකට ලක්ව ඇති බවත් බස් රථයේ  ඇති වු හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවන්නට ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.

පොලිසිය සහ අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් එක්ව එම හටගත් එම ගින්න  කඩිනමින් නිවා දැමීමට කටයුතු කළ ද එම බස් රථය සම්පූර්ණයෙන්ම ගින්නට හසුව විනාශයට පත්ව  තිබුණි.

එම  වන්දනා බස් රථයේ පුද්ගලයන්  11 දෙනෙකු පැමිණ ඇති අතර ගිනි ගැනීම හේතුවෙන්  කිසිවෙකුටත් හානියක්  සිදු නොවි ඇති බවද පොලිසිය සඳහන් කළේය.