වත්මන් රජය කරන්නේ තනි පුද්ගලයන් ශක්තිමත් කිරීමයි


 

(බන්දුල ඉලේපෙරුම)                                                                                                             

තිබුණු ආණ්ඩුවෙයි වත්මන් ආණ්ඩුවෙයි ලොකු වෙනසක් ඇති බවත් ඒ වෙනස නම් තිබූ රජය සිදුකළ ජනතාව ශක්තිමත් කරන සංශෝධන වෙනුවට වත්මන් රජය සිදුකරන්නේ එක් එක් පුද්ගලයන් ශක්තිමත් කරන සංශෝධන බවත් සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද(25) පාර්ල‍ිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදයට එක්වෙමින් පැවසීය.                             

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක මහතා මෙසේ කියා සිටියේය.                                              

“අපි බලයට එන්න කලින් ඇහුණේ මාධ්‍යවේදීන් අතුරුදන් වුණු හැටි, ජීවිත තර්ජන එල්ලවුණු හැටි, මාධ්‍ය ආයතන ගිනිබත්වුණු හැටි. අපේ කාලයේ මාධ්‍ය නිදහස දෝරේ ගැලුවා වගේම මාධ්‍යවේදීන් ඒ නිදහස උපරිම භුක්ති වින්දා. අපේ රජය කාලේ සිදුවුණු ඵෙතිහාසික සිදුවීම තමයි තොරතුරු පනත සම්මත කිරීම. යහපාලන රජය බලයට ඇවිත් වසරක් ඇතුළත තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළා. එදා වෙනම අතිරේක ලේකම්වරයෙක් පත්කළා. වෙනම ඒකකයක් තිබුණා. තොරතුරු පනත නිසා පානම්පත්තුවේ පුංචිරාළ නමැත්තා සිය ඉඩම් අයිතිය ලබාගත් බවට ආරංචි වුණා.

මේ වගේ ජනතාවට විශාල සේවයක් වන පනතක් සම්මත කළා. අද මේ පනතට අත නොතිබීම ගැන සතුටුවෙනවා. 20වැනි සංශෝධනයේ වෙනත් කරුණු ඔස්සේ මේකට බලපෑම් වෙනවා. නමුත් පනත සාර්ථක වෙන්න නම් තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම ජනමාධ්‍ය අමාත්‍යංශයට ලැබිය යුතුයි. තොරතුරු කොමිසම ශක්තිමත් කළ යුතුයි. විශාල මහජන විරෝධයක් ටෙලිවිෂන් ‍ක්ෂේත්‍රයට එල්ල වෙලා. ඒ රජය නිසා. ඒකෙන් අහිංසක මාධ්‍යවේදීන් හා ආයතන බැනුම් අහනවා”

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කොවිඩ් වසංගතය නිසා මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු වාර්තාකරණය කරන්න බැරිවී ඇති බවත් එම නීතිය දිගටම ක්‍රියාත්මක නොකරන ලෙසත්ය. එබැවින් මේ වසංගත තත්ත්වය නැති වුණාම ඔවුන්ට වාර්තාකරණයට අවස්ථාව දෙන මෙන්ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.