ලෝක බැංකු නියෝජිතයෝ ගොවි දුක බලන්න යති


(අංජුල මහික වීරරත්න)

මෙරට වියළි කලාපයේ “දේශගුණික සුහුරු වාරි කෘෂිකර්මාන්තය” ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලීමට ලෝක බැංකු නියෝජිතයෝ අනුරාධපුර, තිරප්පනයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ. ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්‍ර චාරිකාවකට මෙලෙස එක් වූහ.

දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ (Climate Smart Irrigated Agriculture Project -CSIAP) ප්‍රගතිය විමසා බැලීම මෙම සංචාරයේ අරමුණ විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් ජනපද නිල සංචාරය අතරතුරදී ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සමඟ පැවැත්වු විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේශගුණික හිතකාමී තිරසාර කෘෂිකාර්මික වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා සහාය වන ලෙස කළ ඉල්ලීමට අනුව ඒ පිළිබඳ සොයා බැලිම සඳහා ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ මහත්මිය පළමුවරට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ, මාන්නම්කුලම ගම්මානයේ "දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසල" නමින් ගොවි පුහුණු පාසලක් පිහිටුවීමට දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ පියවර ගෙන තිබේ.