ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝක නායකයන් පියවර නොගතහොත් ඔවුන් අමාරුවේ දැමීම සඳහා තමන් ඇතුළු පරිසර ක්‍රියාකාරීන් පිරිස නිසැකවම පියවර ගන්නා බව ග්‍රේටා තන්බර්ග් කියයි. ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතාවකදී, පරිසර ලෝලීන් පිරිසක් අමතා ඇය එසේ ප්‍රකාශ කරන විට රැස්ව සිටි පිරිස ඔල්වරසන් දුන්හ.
තවමත් 16 හැවිරිදි වියේ සිටින ග්‍රේටා තන්බර්ග් පවසන්නේ ලෝක නායකයන් තමන්ගේ වගකීමෙන් පළා යමින් සිටින බවයි. වසර 2020 ක්‍රියාකාරී වර්ෂයක් විය යුතු බවද ඇය කීවාය. ‘අනාගතය වෙනුවෙන් සිකුරාදා’ යන්න තේමා කරගනිමින් ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතා රැළියකදී ඇය මෙසේ කීවාය.
ස්වීඩන් ජාතික දැරියක වන ග්‍රේටා තන්බර්ග් ටියුරින් වෙත පැමිණියේ ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවකට සහභාගි වීමෙන් පසුවය. එහෙත් එම සමුළුවෙන් පලක් නොවන්නේ යයි තමන්ට බියක් ඇති බවත් ඇය කීවාය.
“අවාසනාවට වගේ...ඒකේ අවසාන ප්‍රතිඵලය කුමක්ද කියා අපි දැනටමත් දන්නවා. ලෝක නායකයන් තවමත් තම තමන්ගේ වගකීම් වලින් පළා යමින් සිටිනවා...ඒත් ඔවුන්ට ඒ දේ කරන්නට ඉඩ නොතැබීමට අප වගබලාගත යුතුයි” යයිද ඇය කීවාය.
දින කිහිපයකට ඉහතදී 2019 වසරේ විශිෂ්ටතම පුද්ගලයා ලෙසින් සුප්‍රකට ‘ටයිම්’ සඟරාව විසින් ග්‍රේටා තන්බර්ග් නම්කරන ලදි.
“මේ ප්‍රශ්නය (ගෝලීය උණුසුම ඉහළ යාම) පටන් ගත්තේ අපි නෙවෙයි. ඒ නිසා වැඩිහිටියන් විසින් ආරම්භ කරන ලද මේ ප්‍රශ්නය ඔවුන්ම විසඳන්න ඕනේ... ඒක අපි වෙත පැවරීම සාධාරණ නෑ”
“වැඩිහිටියන් හැසිරෙන්නේ හෙට කියලා දවසක් නෑ වගේ...ඒත් හෙට කියලා දවසක් තියෙනවා. ඒක තරුණ පරම්පරාව වන අපටයි. හෙට දවසේ ජීවත් වෙන්නේ අපියි....ඒ වෙනුවෙන් සටන් වැදීමට අපට සිදුවෙලා තියෙනවා”
“හෙට කියන දවස දෙන පලියට බාරගන්න අපට බෑ” යයිද ඇය කීවාය.

