
(අංජුල මහික වීරරත්න)
ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් ලොකු ලූනු සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එම ගොවීන් සමඟ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (17) පැවැති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණි.
ගබඩාකරණය ඇතුළු ගොවින්ගේ පහසුකම් පුළුල් කිරිමට ගත හැකි පියවර පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් පුරා අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රටේ මෙතෙක් සකස් කර නොමැති බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍ය ලාල්කාන්ත මහතා දේශීය ලොකු ලූනු ගොවීන්ගේ ගැටලු විසඳීමට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කෙරෙන පළමු අවස්ථාව මෙය බව කීය.
සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ලොකු ලූනු ගොවීන්ගේ ගැටලුවට විසැදුම් සෙවීමේදී එම ගැටලුවලට ප්‍රමුඛතාව ලබා දෙන අතරම පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලූනු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් ඊට විසදුම් සෙවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
එම තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත මත පදනම්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැහැදිලි කළේය.


