ලෙබනනයේ බීරූට් පිපිරීමෙන් 10ක් මියයති


ලෙබනනයේ බීරූට් අගනුවර, නගර මධ්‍යයේ සිදු වූ පිපිරීමෙන් දස දෙනකු මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමේ කම්පනය ලෙබනන අගනුවර සිට කිලෝමීටර ගණනක් ඈතට දැනී ඇති අතර බොහෝ දුර ඈතින් තිබූ ගොඩනැගිලිවල ජනේල, වීදුරු පවා බිඳී ගොස් ඇතැයි වාර්තා වේ.

පිපිරුමේ කම්පනය හේතුවෙන් ඇතැම් ගොඩනැගිලිවල කොටස් පවා කඩා වැටී ඇතැයි ඇසින් දුටුවෝ කීහ.
වසර ගණනාවකට පසු බීරූට් අගනුවර සිදු වූ දැවැන්තම පිපිරීම මෙය වන අතර ඇතැම් නගර වැසියන් පිපිරීම භූමි කම්පාවක් යැයි සිතා ප්‍රතිචාර දැක්වූයේ යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  විශාල පිරිසක් කඳුළු සලමින් මාර්ගවල ඇවිද යන අයුරු, ඇතැම් අය රුධිරයෙන් නැහැවුණු ඇඳුම් ඇතිව සිය හිත මිතුරන්, ඥාතීන් සොයා වීදි දිගේ ඇවිද යන අයුරු ද දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීම සිදුව ඇත්තේ ලෙබනනයේ අගනුවර වන බීරූට්හි, වරාය ආශ්‍රිත ප්‍රදේශයේ ය. මෙම ප්‍රදේශයේ නගර මධ්‍යය, එසේත් නැතිනම් නගරයේ හදවත ලෙස සැලකේ.

වරායේ ගබඩාවක පුපුරුණ ද්‍රව්‍ය රැස් කර තිබී ඇති බවත් එහි මෙම පිපිරුම සිදුව ඇති බවත් ලෙබනනයේ රාජ්‍ය පුවත් සේවය වන එන්.එන්.ඒ. පුවත් සේවය සඳහන් කළේය. ආරක්ෂක අංශ ආරංචි මාර්ග දෙකක් ද ඒ බව සඳහන් කළේය. පිපිරීම සිදු වූ ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබී ඇතැයි ද තවත් ආරංචි මාර්ගයකින් කියැවිණි.

මෙම පිපිරීමේ විඩියෝ දර්ශන නගරවාසීන් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණු අතර වරාය දිස්ත්‍රික්කයෙන් දුම් වළා නැගෙන අයුරුත් ඒ සැණින් තවත් දැවැන්ත පිපිරුමක් සිදුවන අයුරුත් එම විඩියෝ පටවල දැක්විණි.

මළසිරුරු දහයක් ඊයේ රාත්‍රිය වනවිට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.50ට) පමණ රෝහල් වෙත රැගෙන ඇති බව ආරක්ෂක අංශ සහ වෛද්‍ය අංශ උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. පුද්ගලයන් සිය ගණනක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව ද ලෙබනන රතු කුරුස සංවිධානය සඳහන් කළේය.

ලෙබනන ජනාධිපති මයිකල් අවුන්, රටේ උත්තරීතර ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් සඳහා කැඳවා ඇති බව ද එරටින් දැනගන්නට ලැබේ.

පිපිරීමට හේතුව කුමක්දැයි ද ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය කුමන ආකාරයේ ඒවාදැයි ද යන්න ඊයේ රාත්‍රිය වනතුරුත් නිශ්චිතව වාර්තා වී නොතිබිණි.

ලෙබනනයේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී අබ්බාස් ඊබ්‍රහීම් වරාය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර පිපිරුම සම්බන්ධයෙන් දැන්මම විමර්ශන ආරම්භ කළ නොහැකි බවත් එසේ වුවත් අවශ්‍ය පියවර ගන්නා බවත් කීය.
මෙම පිපිරුමට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධයක් නැතැයි එරට නිලධාරියෙක් මේ අතරවාරයේදී ප්‍රකාශ කළේය.
පිපිරුම සිදු වූ ස්ථානයේ සිටි ගිනි නිවන භටයන් පිරිසක් අතුරුදන්ව ඇතැයි ‘ස්කයි නිව්ස්’ පුවත් සේවයට අදහස් දක්වමින් බීරූට් ආණ්ඩුකාරවරයා කීය.

රොයිටර්

055