(ඩයනා උදයංගනී)
මෙරට ලියාපදිංචි පක්‍ෂවල ව්‍යවස්ථා අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණයක් ගෙන ඇති බවත්, ඒ අනුව දැනට ලියාපදිංචි කර ඇති පක්‍ෂවල නාමයන් හා ව්‍යවස්ථා සංශෝධනය විය යුතුද යන්න සොයාබැලීමට මෙම කමිටුව පත්කරන බවත් සභාපතිවරයා සඳහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් සමන්විත වන පරිදි මෙම කමිටුව ලබන මාසයේදී පත්කරන බවද නිමල් පුංචිහේවා මහතා කියයි.
එම කමිටුව විසින් දේශපාලන පක්‍ෂවල ව්‍යවස්ථා සම්බන්ධයෙන් අධ්‍යයනය කර කොමිසම වෙත වාර්තාවක් ලබාදීමෙන් පසු අදාළ පක්‍ෂ කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා සඳහන් කරයි.
කමිටුව මගින් ලබාදෙන වාර්තාව අනුව දේශපාලන පක්‍ෂයන්හි නම්වල හෝ ව්‍යවස්ථාවේ සංශෝධනයන් කළ යුතු අවස්ථා වේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ පක්‍ෂ දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීම සඳහා ඔවුන්ට කාලයක් ලබාදෙන බව ද පුංචිහේවා මහතා ප්‍රකාශ අවධාරණය කරයි.
පක්ෂවල ව්‍යවස්ථාවන්හි ආගමික හෝ වාර්ගික වශයෙන් වන වගන්ති ඇතුළත් වන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි බැවින් මෙම පියවර ගන්නා බව ද සභාපතිවරයා පවසයි.

