ලියාපදිංචි නොවූ ඖෂධ කිහිපයක් ගාල්ලෙන් සොයාගනී


(ඩී.ජී.සුගතපාල)

ගාල්ල නගරයේ ඖෂධ ශාලා පරික්ෂාවකදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවු බවට සැකකරන ඖෂධ වර්ග කිහිපයක් සොයාගත් බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතා පැවසීය.

එම ඖෂධ පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා  ඒවායේ සාම්පල් ඖෂධ නියාමන අධිකාරිය වෙත යැවීමට කටයුතු කළ බවත් ඔහු කීය.

මෙසේ සොයාගත් ඖෂධ වර්ග අතර හෝමෝන වර්ග සහ ලිංගික උත්තේජන ඖෂධ රැසක් තිබූ බවත් ඖෂධ නියාමන අධිකාරියේ වාර්තාව ලැබුණූ පසු එම ඖෂධ ශාලාවලට විරුද්ධව නීතිමය කටයුතු කරන බවත් ජීවරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙසේ ද පැවසිය.

“ලංකාවේ අලෙවි කරනු ලබන සියලුම ඖෂධ වර්ග ඖෂධ නියාමන අධිකාරියේ ලියා පදිංචි කළ යුතු ඒවා විය යුතුයි. එසේ ලියාපදිංචි නොකරන ලද ඖෂධ අලෙවිය තහනම්. නමුත් ඖෂධ ශාලාවක නොමැති  ඖධයක් හදිසි රෝගියකුට අවශ්‍ය වන්නේ නම් වෛද්‍යවරයාගේ නිර්දේශය මත ඖෂධ නියාමන අධිකාරිය මගින් ගෙන්වා ගැනීමට පුලුවනි.

දැනට දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඖෂධ ශාලා 200 පමණ සංඛ්‍යාවක් තිබෙන අතර ඉදිරියේ දී ඒවා සියල්ලම පරික්ෂාවට ලක් කරනවා. එයට අමතරව බලපත්‍ර නොමැතිව පවත්වා ගෙන යන ඖෂධශාලා වැටලීම ද සිදුකරනවා.“

හම්බන්තොට දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් වන කේ.එච්.ජයරත්න ඩී.එස්.පී.ගුණසේකර යන මහත්වරුන්ගේ සහාය ඇතිව ගාල්ල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක එස්.එස්.හපුආරච්චි මහතා විසින් මෙම පරීක්ෂාව සිදු කරන ලදී.