(එච්. චන්දන)
පුත්තලම - වනාතවිල්ලුව-ලැක්ටෝ වත්තේ සැක සහිත ලෙස රැඳී සිටි පුද්ගලයින් හය දෙනෙකු අද (24) අලුයම අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලීසිය කියයි.
තමන් වත්තේ පොල් ගස් වලට වතුර දැමීම හා කුකුළු ගොවිපොළේ වැඩ කටයුත්තක් සඳහා පැමිණ සිටි බව සැකකරුවන් පවසා ඇති බව පොලීසිය පවසයි. වත්තේ හිමිකරු හා ඔහුගේ පුතුන් තිදෙනකු මේ අතරවේ.
ඉකුත් ජනවාරි 16 වැනිදා ලැක්ටෝ වත්තේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අන්තවාදී සංවිධානයකට අයත් බව කියන පුපුරණ ද්‍රව්‍ය සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය, ඩෙටනේටර් ඇතුළු උපකරණ විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.
වනාතවිල්ලුව පොලීසිය මගින් අද (24) අලුයම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජනවාරි මාසයේ දී අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනෙකු ද වන බවට දැනට හඳුනා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

