ලාංකිකයන්ගේ පළතුරු කෑම වැඩි වෙයි


(අංජුල මහික වීරරත්න)

2023 වසරේ දී මෙරට පළතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක් ( මෙට්‍රික් ටොන් 1,283,039) දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට වාර්ෂික පලතුරු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 19.6කි. (මෙට්‍රික් ටොන් 196,9371කි). 2023 වසරේ පළතුරු නිෂ්පාදනය ඉහල යාම දෙස බලන විට ප්‍රධාන වශයෙන් කෙසෙල්, අඹ, අන්නාසි හා පැපොල් නිෂ්පාදනය ඉහළ යාම කැපී පෙනෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

මීට අමතරව පළතුරු අපනයනය ද 2023 වසරේ ඉහල ගොස් තිබේ. ඒ අනුව පළතුරු මෙට්‍රික් ටොන් 38,201ක් අපනයනය කර ඇත.  

2027 වනවිට කෙසෙල් නිෂ්පාදනය හෙක්ටෙයාර් එකකට මෙට්‍රික් ටොන් 19.5ක් දක්වාත්, අඹ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 9.5ක්, පැපොල් මෙට්‍රික් ටොන් 45ක්, අන්නාසි මෙට්‍රික් ටොන් 14ක් සහ වැල් දොඩම් මෙට්‍රික් ටොන් 30ක් දක්වාත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා ප්‍රභේද අභිජනනය, දෙමුහුම් ප්‍රභේද අභිජනනය, අධි ඝනත්ව වගාව, ඒකාබද්ධ පලිබෝධ පාලනය, ශාක පෝෂක හදුන්වාදීම, අසු අස්වනු හානිය අවම කිරීම සහ අගය එකතු නිෂ්පාදන තාක්ෂණය හඳුන්වා දීම වැනි තාක්ෂණික පියවර රැසක් සැලසුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමනී රණතුංග මහත්මිය ප්‍රකාශ කළාය.