ලක්ෂ තුනක මත්කුඩු සමඟ එකම පවුලේ 3 ක් ඇතුළු 5 ක් අත්අඩංගුවට


( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )


පානදුර ඇතුළු  ප්‍රදේශය ගණනාවකට මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හැරීමේ ජාලයකට සම්බන්ධ වූ එකම පවුලේ තිදෙනෙක් ඇතුළු පස් දෙනෙක් රුපියල් ලක්ෂ 3 ක් වටිනා මත්කුඩු සමග  අත්අඩංගුවට ගත් බව පානදුර  කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි .
 
 හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 21 කට ආසන්න ප්‍රමාණයක් සහ ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් විසි හතර දහසක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත .
 
එම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ එකම පවුලේ මවක්,දියණියක් ,පුතෙක් මෙන්ම කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත .
 
 පානදුර කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතාට ලද තොරතුරක් අනුව පානදුර හිරණ මඩකුඹුර හන්දියේ දී මත්කුඩු ග්‍රෑම් 13 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී  මත්කුඩු ජාලයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි .
 
 මෙම මත්ද්‍රව්‍ය ජාවාරම බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු මෙහෙයවන බවත් ඔහුගේ අනියම් බිරිඳ බවට කියන කාන්තාව හිරණ පාරේ දුරකථන සන්නිවේදන මධ්‍යස්ථානයකට මත්කුඩු ජාවාරමට විද්‍යුත් ක්‍රමය හරහා ලැබෙන මුදල් ලබා ගැනීමට පැමිණෙන බවට හෙළි වූ තොරතුරු අනුව රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් එම කාන්තාව රුපියල් විසි හතර දහසක මුදලක් හා මත්කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 310 ක් සැකකාරිය සන්තකයේ තිබී සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීනියක් පැවසුවාය.
 
 එම සැකකාරියගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය චෝදනා රැසකට මහා අධිකරණ නඩු ගණනාවක් පවතින "කලුදෑවල උමති " නැමැත්තිය මත්කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 170 ක් සමග ද ඇයගේ මව මත්කුඩු මිලිග්‍රෑම් 30 ක් සමග ද සහෝදරයා මත්කුඩු මිලිග්‍රෑම් 70 ක් සමග ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීනිය වැඩිදුරටත් පැවසුවාය.අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරිනියන් මොරටුව කොරලවැල්ල පානදුර කලුදෑවල පදිංචි කරුවන් ය. 
 අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරිනියන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය