ලක්ෂ 75ක මුදලක් සැකකරුවන්ට මුදාහැරීම


(නිමන්ති රණසිංහ)

බස්නාහිර පළාත උතුර දිසාව අපරාධ භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කරමින් සිටියදී අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් රුපියල් ලක්ෂ 75ක මුදලක් සැකකරුවන්ට මුදාහැරීමෙන් කරන ලද දූෂණයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද (05) කරුණු වාර්තා කළේය.

ඒ අනුව, මෙම සිද්ධියට අදාළ විමර්ශනය භාරදීම සදහා ලබන ඔක්තෝම්බර් මස 03 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අල්ලස් කොමිසමට අද (05) නොතීසි නිකුත් කළේය.

මෙය, ‘දූෂණය’ සම්බන්ධයෙන් වන වරදක් බැවින් අදාළ විමර්ශනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත භාරදීම සඳහා එම කොමිසමට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නොතීසිය නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කේ. ජගත් අල්විස් මහතා විසින් ඉකුත් ජනවාරි මස 28 වැනිදාය.