ලක්ෂ 14ක පොල්ලකට ලක්ෂ 25 ක වන්දියක්


(නිමන්ති රණසිංහ)

රුපියල් 14 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් යන්ත්‍රයක් විකුණා සාපරාධී විශ්වාසය කඩ කළ චෝදනාවකට වරදකරු වූ ව්‍යාපාරිකයකුට එම නඩුවේ පැමිණිලිකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 25ක වන්දියක් ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේය.

පැමිණිලිකරුට එම වන්දි මුදල නොගෙවන්නේ නම්, වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද චූදිතට අධිකරනයෙන් නියම කෙරිණි.

මෙලෙස දඩ නියම වූ වූයේ මෙම නඩුවේ වරදකරු වන අලුත්මාවත පාර, කොළඹ 15 පදිංචි ව්‍යාපාරිකයකු වන පොන්නුසිංහ අමරනාත් නැමැත්තාට ය.

වසර හයක් පුරා විභාග වූ මෙම නඩුවේ දී පැමිණිලිකරුට සිදු වූ රස්තියාදුව හා මූල්‍යමය පාඩුව නිසා 2023 අංක 10 දරණ අපරාධ වින්දිතයන් සුරැකීමේ පනතේ 61 වන වගන්තිය ප්‍රකාරව චූදිතට එල්ලවී ඇති පළමු චෝදනාවට වරදකරු කළ අධිකරණය මෙම වන්දි මුදල පැමිණිල්ලට ගෙවන ලෙස එලෙස නියෝග කළේය.

ඒ අනුව  අධිකරණයෙන් නියම කළ දඩ මුදල හිමිවූයේ නඩුවේ පැමිණිලිකරු වන පරණයෝන් වීදිය,  කොළඹ 12 පදිංචි තන්ගරත්නම් රමේශ් යන අයවලුන් වෙතය.

චූදිත විසින් රුපියල් ලක්ෂ 14කට අධික වටිනාකමකින් යුත් යන්ත්‍රයක් විකුණා එම මුදල් සාවද්‍ය පරිහරණය කර සාපරාධී විශ්වාසය කඩ කළැයි කියමින් මෙම නඩුව අධිකරණයට ගොනු කරනු ලැබ  තිබුණේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් ඉකුත් 2017 වර්ෂයේ අගෝස්තු මස 8 වැනිදා ය.