ලංගමයේ දෛනික ආදායම මිලියන 68 දක්වා ඉහළට



(නිමල කොඩිතුවක්කු)
 
කොරෝනා වසංගතයෙන් අඩපණ වෙමින් තිබූ  පසු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම, මේ වනවිට රුපියල් මිලියන 68 දක්වා ඉහළ ගොස් ඇතැයි එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා ලංකාදීපයට අද(24) පැවසීය.
 
කොරෝනා වසංගතයෙන් පසු ලංගම දෛනික ආදායම යථා තත්වයට පත්වෙමින් තිබෙන බවත් පැවසූ සභාපතිවරයා මෙයට පෙර එම ආදායම රුපියල් මිලියන 50ත් 55ත් අතර අගයක් ගත් බවද සඳහන් කළේය.
 
මේ වනවිට ලංගම බස්රථ 5600ක් පමණ දෛනිකව ධාවනයට එක්කර ඇති බවද රණවක මහතා කියා සිටියේය.
 
ධාවනයෙන් ඉවත්කර තිබූ බස්රථ විශාල සංඛ්‍යාවක් අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමට පියවර ගෙන ඇති බව පැවසූ සභාපතිවරයා ඒ මගින් රුපියල් මිලියන 55ක පමණ මුදලක් ඉතිරිකරගැනීමට හැකිවූ බවද සඳහන් කළේය.
 
මේ වසර මුලදී ඩිපෝ 47ක වැටුප් ගෙවා ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට ලක්ව තිබූ බවත් එම සංඛ්‍යාව මේවනවිට 6 දක්වා අඩුකරගැනීමට හැකිවූ බවත් කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් පැවසීය.