ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදයට


(අංජුල මහික වීරරත්න) 

ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් ප්‍රසාදය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවේ අවසන් අදියරේ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු නියෝජිතයෝ මේ බව පැවැසූහ.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම (Parliamentary budget office),  රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ක්‍රම, සමාජ ලේඛන (Social registry) වැනි ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් පූර්ව ක්‍රියාමාර්ගයන් සම්පූර්ණ කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සහ එම එක් එක් ක්‍රියාමාර්ගවලට අදාළ කාල රාමු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා ලෝක බැංකුව ලබා දෙන දායකත්වය  පැසසුමට ලක් කළ සාගල රත්නායක මහතා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඉදිරියේ දී ද සියලුදෙනාගේ සහාය අපේකෂා කරන බව කියා සිටියේය. 

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු චියෝ කන්දා මහත්මිය ඇතුළු ලෝක බැංකු නියෝජිතයෝ ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.