ලංකාවේ සංචාරය නොකරන්නැයි අරාබි වැසියන්ට අනතුරු අඟවයි


( තිළිණි ද සිල්වා )

අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය විසින් එරට වැසියන් සඳහා සංචාරක අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ලබන නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සැළකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අවශ්‍යම කරුණකට හැර ශ්‍රී ලංකාවට නොයා යුතු බවත්, සංචාරයක නිරත යම් කිසි එමීර් වැසියෙකු සීටී නම් හදිසි අවස්ථාවකදී +94 112-301-601 දුරකථන අංකය හරහා කොළඹ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලය හෝ  +971 800-444-44 යන දුරකථන අංකය ඔස්සේ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජාත්‍යන්තර සහයෝගිතා ඇමතුම් මධ්‍යස්ථානය ඇමතිය හැකි යැයිද මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමෙහි සඳහන්ව ඇත.

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප‍්‍රහාරය පසුව ගනිමින් එමීර් රාජ්‍යය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ද මෙරට සංචාර නොකරන ලෙස දන්වමින් එරට වැසියන්ට සංචාරක උපදේශනයක් පනවනු ලැබිණි.