
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) ඉවත්වූ හිටපු අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු ඇතුළු එම පක්‍ෂයේ හිටපු ප්‍රබලයන් 20 කට අධික පිරිසක් ලබන ජනවාරි මස නැවතත් එම පක්‍ෂයට එකතු වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) ‘ලංකාදීප’යට පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමන් අනිවාර්යෙන්ම එකතු වන බවත් එම පක්‍ෂයට නැවත එකතු වීමට එම පක්‍ෂ බලධාරීන් සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් අබේගුණවර්ධන මහතා කීය.
පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට පෙර ඉවත්වූ ප්‍රබලයන් 20 කට අධික සංඛ්‍යාවක් තමන් සමඟ එකට සිටින බව කී රෝහිත අබේගුණවර්ධන මහතා එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා සමඟ නාරාහේන්පිටදී පැවැති සාකච්ඡාවට ද සහභාගි වූ බව ද සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරු වන පවිත්‍රා වන්නිආරච්චි, රමේෂ් පතිරණ සහ චින්තක මායාදුන්නේ ඇතුළු පිරිසක් සිටින අතර එම පිරිස නැවත පොහොට්ටුවට එකතු වීමට බලාපොරොත්තු වන බවත් එම පිරිසෙන් තමන්, රමේෂ් පතිරණ ආදි හිටපු අමාත්‍යවරු ඇතුළු වැඩි සංඛ්‍යාවක් පසුගිය 21 වැනිදා පැවැති විපක්‍ෂයේ ජන රැළියට ද සහභාගි වූ බවත් හිටපු අමාත්‍යවරයා කීය.
තමන් කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් නොවූ අතර පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත්වීමට සුදුසුම තීරණය ගෙන ‘සිලින්ඩරය’ ලකුණෙන් තරග කළ බවත් එම මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ‘පොහොට්ටුව’ ලකුණින් තරග කළ ලැයිස්තුවට වඩා ‘සිලින්ඩරය’ ලකුණින් තරග කළ කණ්ඩායම ප්‍රබල වීම නිසා එකම මන්ත්‍රී ධුරයට පත්විමේ අවස්ථාව ලැබුණු බවත් හෙතෙම පැවසීය.

