රෝහල් ගත වූ රිෂාඩ් යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට


(නිමන්ති රණසිංහ)

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නැවත එම දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.

හිටපු අමාත්‍යවරයාට හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 55 වන වාට්ටුවට ඇතුළත් කෙරුණේ ඉකුත් 17 වැනිදාය.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ දී සිදු කෙරුණු ප්‍රතිකාරවලින් පසුව අද 24 නැවතත් ඔහු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.

රිෂාඩ් බදුර්දීන් මහතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය නිර්දේශ මත ඔහුට ලබා දුන් ඖෂධ ලබානොගෙන හොර රහසේ ඉවතට විසිකර දමා ඇති බවට කරුණු හෙළි වී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

තමන්ව මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කරන ලෙසද හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර හිටපු අමාත්‍යවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය.