රෝගී කාන්තාවට අතවර කළ වෛද්‍යවරයා වසර දෙකක් හිරේට


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
චීන කටු ප‍්‍රතිකාර ගැනීමට පැමිණි රෝගී කාන්තාවකට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරද පිළිගත් කළුබෝවිල රෝහලට අනුයක්ත චීන කටු චිකිත්සක මධ්‍යස්ථානයේ හිටපු වෛද්‍යවරයකුට වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකර විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය එම දඬුවම වසර 25ක කාලයකට අත්හිටුවීමට නියම කළාය.


චීන කටු ප‍්‍රතිකාර ගැනීමට පැමිණ බරපතල ලිංගික අතවරයකට ලක්වු රෝගී කාන්තාවට රුපියල් ලක්‍ෂ 02ක වන්දි මුදලක් ගෙවීමට නියම කළ විනිසුරුවරිය විත්තිකරු රුපියල් 25,000/- දඩයකටද යටත් කළාය.


චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කළුබෝවිල රෝහලට අනුයක්ත චීන කටු චිකිත්සක මධ්‍යස්ථානයේ වෛද්‍යවරයකු  ලෙස සේවය කළ ඞී.පී. විජේරත්න නමැත්තෙකුටය.


2006 මැයි මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කළුබෝවිලදී කාන්තාවකට බරපතල ලිංගික අතවර කළ බවට විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.


මෙම නඩුව විභාග වෙමින් තිබියදී විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා මෙම චෝදනාවට වරද පිළිගන්නා බව දැනුම් දුන්නේය.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශ‍්‍රමින්ද වික‍්‍රම මහතා අධිකරණය අමතමින් පීනස් රෝගයට ප‍්‍රතිකාර ගැනීම සඳහා අදාළ කාන්තාව කළුබෝවිල රෝහලට අනුයක්ත චීන කටු චිකිත්සක ආයතනයට පැමිණි අවස්ථාවෙදී මෙම විත්තිකාර වෛද්‍යවරයා ඇයට ප‍්‍රතිකාර කරන මුවාවෙන් ඇයට බරපතල ලෙස ලිංගික අතරවර කොව ඇතැයි කීය.


නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අධිකරණය අමතමින් සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් දැඩි සේ මනස්තාප වන තම සේවාදායකයා මෙම චෝදනාවට වරද පිළිගන්නා හෙයින් ඔහුට ලිහිල් දඩුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරිය විත්තිකරුට අදාළ දඬුවම් නියම කළාය.