රේගු වෘත්තිය සමිති හෙට රැස් වෙති


(මහින්ද නිශ්ශංක)
 
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධව ආණ්ඩුවෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය දැඩි කිරීම සඳහා රේගු වෘත්තීය සමිති සන්ධානය අද (4) රැස්වී ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා පැවසීය.

ඉකුත් 30 වැනිදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අදට දින හයක් ගතවේ.

කිසිදු හේතුවක් නොදක්වා ජාවාරම්කරුවන්ගේ බලපෑම් මත රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කරන ලද චාල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවන තුරු මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අඛණඩව කි‍්‍රයාත්මක කරන  බව උප ලේකම් සුදත්  ද සිල්වා මහතා පැවසීය.

දිනකට වරායෙන් කන්ටේනර 1500ත් 2000ත් අතර සංඛ්‍යාවක් නිෂ්කාශණය කරන නමුදු වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතූවෙන් එම සංඛ්‍යාව දිනකට 100ත් 150ත් අතර සංඛ්‍යාවක් දක්වා පහත වැටී ඇති බවත් පවසන ඒ මහතා වරායේ පමණක් කන්ටේනර් 2000කට අධික සංඛාවක් ද ඊට අමතරව ඔරුගොඩවත්ත සහ තොටලග කන්ටේනර් අංගන වලද විශාල සංඛ්‍යාවක් ද කන්ටේනර් ගොඩ ගැසී ඇතැයිද පැවසීය.

මුදල් ඇමති මංගල සමරවීර මහතා ගැටළුවට විසඳුමක් නොදී කැබිනට් එකට බොරු කරුණු ඉදිරිපත් කර කැබිනට් එක නොමඟ යවා ඇති බවත් පැවසු සුදත් ද සිල්වා මහතා මුදල් ඇමැතිවරයා කැබිනට් එකේදී පවසා ඇති කරුණු බොරු කරුණූ බවට ඔප්පු කිරීමට රේගු වෘත්තීය සමිති සුදානම් බවද පැවසීය.

රේගු නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති අමිල සංජීව මහතා කියා සිටියේ ඉදිරි ක‍්‍රියාමාර්ග සඳහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් වෘත්තිය සමිතිවල සහය ලබාගෙන පුළුල් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට රේගු වෘත්තීය සමිති සන්ධානය පියවර ගෙන තිබෙන බවත්ය.