රෙදි මිලට ගත් ත්‍රස්ත කල්ලි සාමාජිකයෝ සොයා පරීක්ෂණ


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ දී බෝම්බ පුපුරුවාගෙන මියගිය ත්‍රස්තවාදී  කල්ලියේ  සාමාජික පිරිසක් මීරිගම පොලිස් වසමේ ගිරිඋල්ල රෙදි වෙළඳසැලකින් රෙදි මිලදී ගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් පිළිබඳව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය හා මීරිගම පොලිසිය අද (28) පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.

ත්‍රස්ත පිරිස මියගිය නිවසේ තිබී හමු වූ බෑගයක සඳහන් ලිපිනය පරීක්ෂා කිරීමේදී ඉකුත් 19 වැනි දා මුහුණු ආවරණය කරගත් ඇඳුම් ඇදගත් කාන්තාවන් තිදෙනෙකු මෙම වෙළෙඳසැලෙන්  රෙදි මිලට ගෙන ඇති බව ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන් වී තිබේ.

මොවුන් රුපියල් 30,000 ක පමණ රෙදි මිලට ගෙන ඇති බව සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත.

මොවුන් සුදු පැහැති වෑන් රියකින් පැමිණ ඇති බවට‍ තොරතුරු අනාවරණය වී තිබේ. 

මෙසේ රෙදි  මිලදී ගෙන ඇති කාන්තාවන් පිරිස කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ දී බෝම්බ පුපුරුවා ගැනීමෙන් මරණයට පත්වූ පිරිස හෝ ඔවුන්ගේ සාමාජිකයන් දැයි අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.