(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති සැලැස්ම යටතේ ඉදි කෙරුණු රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව අසාර්ථක ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) හමුවේ ප්‍රකාශ කර ඇත.
රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පවත්වාගෙන යෑමට 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා රුපියල් හත් කෝටි පනස් අට ලක්ෂ අසූ නව දහස් හත් සිය හැට නවයක් වැයකර තිබුණද ශාලාව එම කාලයේදී ලබා ඇති ආදායම රුපියල් එක්කෝටි පනස් අට ලක්ෂයක් බව කෝප් කමිටුවේ දී තොරතුරු හෙළිවී ඇත.
මෙම සම්මන්ත්‍රණ ශාලාව හම්බන්තොට නගර සංවර්ධන සැලැස්මට අදාළ එක් අංගයක් නමුත් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියේ සැලැස්ම ක්‍රියාත්මක නොවීම නිසා ව්‍යාපෘති අසාර්ථක වූ බව මෙහිදී සඳහන් විය.
එසේම මෙම සම්මන්ත්‍රණ ශාලාව දිගටම පාඩු වී ඇති නිසා ආයතන දෙකක් සඳහා මෙහි කළමනාකාරීත්වය පැවරීම මගින් ලාබ ලබාගැනීමට කටයුතු කරන බවද එම ප්‍රධානීන් පවසා ඇත.
රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව විදේශ ආධාර යටතේ ඉදි කෙරුණු බවත් මේ සඳහා උපදේශන කටයුතු පමණක් නාගරික සංවර්ධන අධිකාරිය සිදු කළ බවත් ඔවුන් පෙන්වා දී ඇත.
මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු මුදල් වියදම් නොකළ බවද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත .
මේ අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ආරම්භ කිරීමෙන් පසු අතරමග නැවතී ඇති ව්‍යාපෘති වහාම සාර්ථක කර රටට ආදායමක් ලැබෙන තත්වයට පත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා එම අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
කෝප් කමිටු සභාපතිවරයා මෙසේ උපදෙස් ලබාදී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ 2017 හා 2018 වර්ෂ වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට එම අධිකාරියේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඊයේ (07) කැඳවූ අවස්ථාවේදීය.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති සහ අධීක්ෂණය වන ව්‍යාපෘති ගණනාවක් පාඩු ලබන බව මෙහිදී තොරතුරු අනාවරණය වී ඇත.
හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය, මීතොටමුල්ල පුනර්ජීවන ව්‍යාපෘතිය, කර්මාන්තපුරයක් ඉදිකරීමට මිල්ලෑව වතුයායෙන් අක්කර 812 ක් පවරා ගැනීමට අදාළ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් මෙසේ පාඩු ලබන බව සඳහන් වී ඇත.
හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති සැලැස්ම යටතේ රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව ඉදිකිරීම සඳහා වැය වූ මුදල පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී ඇත.
මෙහිදී කෝප් සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් සොයා බලා අදායම් ලබන තත්වයට කටයුතු කරන ලෙසයි.
මෙම කාරක සභාවට අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, පාඨලී චම්පික රණවක, ජයන්ත සමරවීර, ආචාර්ය සරත් වීරසේකර, ඉන්දික අනුරුද්ධ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ප්‍රේම්නාත් සී දොලවත්ත, ෂානක්කියන් රාසමාණික්කම්, මධුර විතානගේ සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරුද සහභාගී වූහ.