රුසියානු විදේශ ඇමැති ජනවාරියේ දිවයිනට


රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා ලබන 14 සහ 15 යන දෙදින ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරය කරන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැවැසුවාය.

“ජනවාරි 14 සහ 15 රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් රාජකාරී සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට යනවා” යැයි මොස්කව්හි පෙරේදා (26) පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ කරන සංචාරයේදී ජනවාරි 14වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මුණගැසීමට නියමිත අතර විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

“ඔවුන් වත්මන් ශ්‍රී ලංකා - රුසියා සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අනාගත දේශපාලන සංවාද, වෙළෙඳ හා ආර්ථික අංශවලින් සහයෝගීතාව සංවර්ධනය කරගැනීම, මානුෂීය සහ අනෙකුත් අංශ මෙන්ම ද්විපාර්ශ්වීය ප්‍රඥප්ති සහ නෛතික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි අනුබද්ධිත ආයතන මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන තුළ සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවලදී විශේෂ අවධානයක් යොමු කරනවා” යැයි ඇය සඳහන් කළාය.

රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා ජනවාරි 15වැනිදා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් හමුවී සාකච්ඡා පවත්වන බවත් හෙතෙම ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන බහුපාර්ශ්වීය සමුළුවක් වන ‘රයිසිනා සංවාද සමුළුවට’ ද සහභාගී වන බවත් ඇය වැඩිදුරටත් කීවාය.

රුසියානු පුවත් සේවය ඇසුරිනි.

055