රුමේනියා හීන පෙන්වා මුදල් වංචා කළ ඒජන්සි කළමනාකරු දැලේ


(අංජුල මහික වීරරත්න)

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරණයකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස්පන්දහසක් වංචා කළ බවට සැකපිට විදේශ රැකියා ඒජන්සි සමාගමක කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් නාරාහේන්පිට පිහිටි අදාල විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දුවී 2023 වසරේ සිට තමන් රවටමින් අවස්ථා කීපයකදී මුදල් ලබා ගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණි.

මෙම විදේශ රැකියා ඒජන්සි සමාගම, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර අත්අඩංගුවට පත් සැකකරු එම සමාගමේ පරිගණක අංශයේ සහකාර කළමනාකරු වශයෙන් සේවය කරමින් සිට විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.