රිය අනතුරින් දෙදෙනකු මරුට


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ කුරුණෑගල මාර්ගයේ  දිවුලපිටිය බරවාවිල ප්‍රදේශයේ දී කැබ් රථයක් හා කුඩා ලොරියක් මුහුණට මුහුණලා ගැටීමෙන් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා  මරණයට පත්වූ බව දිවුලපිටිය  පොලීසියේ රථවාහන අංශය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පාදෙණිය වේපත්අංග පදිංචිව සිටි ඒ එම් එම් ජී තිලක් අරුණ අතපත්තු  40 නැමැත්තෙකු සහ  මාවත්ත කුඩාගල්ගමුව පදිංචිකරුවෙකු වූ ජේ එමි ජයසුන්දර බණ්ඩාර 45 නැමැත්තෙකි.

නවීන පන්නයේ කැබ් රථයේ ගමන් කර ඇත්තේ මංගල උත්සවයකට සහභාගි ව නිවස බලා යමින් සිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරියකු බව ද මිය ගිය පුද්ගලයෙකු ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකු බව හෙළි වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

අනතුරත් සමග කැබ්රථය අසල වෙල්යායට විසිවී වැටී තිබූ අතර කුඩා ලොරිය මාර්ගයේ අනෙක් පසට හැරී නතර වී තිබූ බව පොලීසිය සඳහන් කරයි.

තුවාලකරුවන්  දිවුලපිටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මිය ගොස් තිබිණි. රථයේ කැබ් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත .

මෙම අනතුරට පෙර කිසියම් ස්ථානයක දී මෙම කැබ් රථය ටිපර් රියක ගැටී ආරවුලක් සිදුව ඇති බවට පොලිසියට ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය හෙළිකර ගැනීමට පොලිසිය කටයුතු කරයි

මියගිය අයගේ පශ්චාත් මම පරීක්ෂණ ඊයේ 13 දිවුලපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.